පසම් - මීගමු වෙළුම දොරට වැඩුම

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී අපේ උරුමයක් !

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරාදීමේ වැඩසටහනක් මීගමුව,දූව සින්දාත්‍රි දේවමාතා දේවස්ථානයේදී අද (29) විචිත්‍රවත්ව පැවැත්විණි. දශක තුනක පමණ කාලයකට පෙර ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් සිරිලකට උරුම කර දුන් පසන් හා ලතෝනි ගායනා සමාජයෙන් වියැකී යාමට නොදී ආරක්ෂා කිරීම සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව පිහිටුවන ලද පසන් හා ලතෝනි සංරක්ෂණ කමිටුවේ දෙවැනි ව්‍යාපෘතිය වශයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. දුව පිටිපන හා වැල්ලවීදිය ප්‍රදේශවලින් තෝරාගන්නා ලද පසම් 81 කින් සමන්විත “පසම් හා ලතෝනි පුරාණය මීගමු වෙළුම ග්‍රන්ථය“ හා සංයුක්ත තැටිය එළිදැක්වීමත් එකී ගායනා අඩංගු වීඩියෝ අන්තර්ජාලය වෙත මුදා හැරිමත් මෙහි දි සිදුවිනි. කතෝලික ජනසන්නිවේදන කොමිසමේ සභාපති අතිඋතුම් දේවධර්මාචාර්ය මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් වහන්සේ ඇතුළු පියතුමන්ලාගේ සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,ක්‍රිස්තියානි කටයුතු අධ්‍යක්ෂ චතුරි පින්තු යන මහත්ම මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගී ශෛලිය ලෝකයේ වෙන කිසිම තැනක නොමැති බවත්, එය අපිටම ආවේනික වූ කලාවක් බවත් මෙම උරුමය රැක ගැනීම හා සංරක්ෂණය කිරීම හා ඉදිරි පරම්පරාව වෙත පවරාදීම සම්බන්ධයෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙහිදී සඳහන් කළ අතර,මෙය මෙතෙක් දුරට ආරක්ෂා කරගනිමින් ඉදිරියට ගෙන ඒම සම්බන්ධයෙන් ඇප කැප වූ සියලු දෙනාට ද සිය ස්තුතිය පළ කළේ ය. අති උතුම් දේවධර්මාචාර්ය මැක්ස්වෙල් සිල්වා රදගුරුහිමිපාණන්,පසම් හා ලතෝනි සංරක්ෂණ කමිටුවේ අනුශාසක ගරු ලාල් පුෂ්පදේව පියතුමා ඇතුළු ගරු පියතුමන්ලා,ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරිහු සහ ප්‍රදේශවාසිහු රැසක් මෙම අවස්ථාවට එක්වුහ.